පන්හිඳ ශ්‍රී සුමංගල පාර දිගේ ඉස්සරහට ඇදුණේ කේන්තියෙන්. සත්සිඳු උන්නේ ඇඳත් බදාගෙන වැලපෙන ගමන්. කම්මුලට එල්ල කරපු පහර නිසා රිදෙන්නේ කම්මුල නෙවෙයි එයාගෙ හදවත. පන්හිඳ කොයි අතක ගියාද කියලා හිතාගන්නවත් බෑ.
ගත වුනු කාලය හරියට හීනයක් වගේමයි. වුණේ මොකක්ද කියලවත් සත්සිඳුට හිතාගන්න බෑ. කාත් කවුරුවත් නෑ වගේ හැඟීමක් එක්ක එයාගෙ මුළු ජීවිතයම පාළු සොහොන් පිටියක් වගේ කෙමෙන් කෙමෙන් පත් වෙන හැටි එයාට දැනුනා.
ඇඳත් බදාගෙන ඉන්න අතරතුරේදිම එයාගෙ ඇස් පියවුණේ එයාටත් නොදැනිමයි. හිස තියන් ඉන්න මුළු කොට්ටය පුරාම තෙත් වෙලා තිබුණේ එයා එතුවක් වෙලා සලපු කඳුළු බිඳුවලින්. ඒ තෙතමනයත් එක්කම එයාට එහෙම්මම නින්ද ගියා.
නින්දට කොහෙද වෙලාවක් කලාවක්. නින්ද ඕනිම මොහොතක කරන්න පුළුවන් ආධ්‍යාත්මික සුවය අරන් එන භාවනාවක් ගානයි. දුකට සතුටට දෙකටම නින්ද කියන්නේ හොඳ ඔසුවක්.
ඇස් පියවුණත් හරි ඇස් ඇරුණේ කීයටද කියලවත් එයාට නම් නිනව්වක් නෑ. වෙලාව හරි ඉක්මනට ගෙවිලා යනවා. හැමදේම හරි ඉක්මනට සිද්ද වෙන්න අරන්. ඔව් හැමදේම...
ඇස් පියන් විවර කරලා බිත්තියේ තිබුණු බිත්ති ඔරලෝසුව දිහා බලද්දි බොඳ ඇස් පියන් අතරින් එයා දැක්කේ වෙලාව තුනත් හතරත් අතර තැනක තියෙන හැටි. ඒත් එක්කම වගේ එයා බොඳ වුණු ඇස් දෙකත් පොඩි කරලා එයා ආයෙමත් වතාවක් බිත්ති ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව හරියටම හවස 3.45 යි.
පන්හිඳ ගිය බව ඇත්ත. එයාව එපාය කියලා මුළු ජීවිතයෙන්ම යන්න ගිය බව ඇත්ත. ඒත් දවසක ඒවි කියලා බලාපොරොත්තුවක් විතරක් එයාගෙ හිතේ ඒ මොහොතෙත් ඇති වුණා. එයා එහෙම්මම ඇඳේ වාඩි වෙලා කල්පනා කරන්න ගත්තේ හිත එක් තැනකට අරන් එන්න බැරුව.
බලාපොරොත්තුවක්ම විතරයි. එයා ඒවි කියලා විශ්වාසයක් නෑ. ඒත් ඒ තරම් දෝෂාරෝපණයක් දීපු එයාව ආයෙමත් වතාවක් ආ මුත් කොහොම නම් භාර ගන්නද..
සැකය.. සැකය කියන්නේ ආදරේ මාරයා. ආදරේ මරන්නේ ඒ සැකය. ආදරේ මරපු සැකය පිරුණු හිතකට කවුරු කොහොම කොයි විදිහට කිව්වත් ආදරේ පුරවන්න පුළුවන්කමක් නෑ. එයා කල්පනා කළේ ඒ ගැන.
ඇත්තමයි , සැකය විසින් ආදරේ මරලා දාපු හිතක් කියන්නෙම හරියට නටුවෙන් ගිලිහුණු මලක් වගේ..
ළඟ රැඳිය යුතු තැන ලඟ රැඳුණු , අත් හැරිය යුතු තැන අත් හැරිය ඔහු.. ඔහු යන්නම ගිහින්. ජීවිතේ කිසිම දවසක ඒවිද නැද්ද කියලවත් හිතාගන්න බැරි විදිහට එයා යන්න ගිහින්. පන්හිඳ එයා ජීවත් වුණු ඒ වැල්ලටම යන්න ගියා.
එහෙත් ළඟ රැඳිය යුතු තැනත් , අත් හැරිය යුතු තැනත් ළඟින්ම රැඳුනු එකම එක දඩබ්බර හිතුවක්කාර පෙම්වතෙක් තවමත් එයා වෙනුවෙන් ඉන්නවා. මහමෙරක් තරම් ආදරේ හිත අස්සේ පුරවගෙන එයාගේ වතුසුදු ම්ල වෙනුවෙන් , එයාගේ babybabe වෙනුවෙන් ඒ හිතුවක්කාරයා නම් තාමත් ඉන්නවා.
ජීවිතේ අභව්‍යත්වය කෙසේ වෙතත් ජීවිතය ගත කළ යුතුමයි. ජීවිතයට මුහුණ දිය යුතුමයි. එයා වෙනුවෙන් හෝ එයා ජීවත් විය යුතුයි කියන තැන අවසන් තීරණයට ඇවිත් සත්සිඳු ඇඬ්ගෙන් නැඟිට්ටේ හරියටම වෙලාව හවස 4 ට කිට්ටු වෙද්දී..
හරියටම හවස 6 වෙද්දි එයා එනවා කියලයි ගියේ. ඉතින් එයා එහෙම්මම ඇඳෙන් නැඟිටලා අඳින්න ඇඳුමකුත් තෝරගන්න කබඩ් එක ඇරලා බැලුවා. ඇඳුම් නම් ගොඩයි. පාට පාට නානාප්‍රකාර ඇඳුම්. කොළඹ ආවට පස්සේ කොච්චර නම් දේවල් වෙනස් වුණාද..
ඉස්සර නිකන් පරණ ඇඳුම් කඩමාල්ලක් ඇඟ දවටගෙන වැල්ලෙ එහා මෙහා දුවපු එයාට සිහියට ආවේ ඒ අතීතය. ඒත් අත අත් නොහැරම ළඟින් රැඳුණු පන්හිඳ අයියා.. තවත් ඒ අතීතයේ ගිලෙන්න එයාට වුවමනාවක් නෑ. එයා එහෙම්මම අතීතයෙන් ඈත් වෙලා වර්තමානයට ආවේ ඒ ගෙවී ගිය තත්පරයත් අතීතයටම එක්කහු කරලා.
කබඩ් එක ඇරලා තෝර ගත්තු සුදු පාට අත් දිග ලිනන් ෂර්ට් එකට ලා නිල් පාටට හුරු ඩෙනිම් කලිසම මැච් කරලා තියලා හවස 4.10 වෙද්දි එයා bathroom එකට වැදුණා.
හිසත් ගතත් තෙමාගෙනම මුළු නිරුවත් සිරුරම සිප ගන්න තෙත් ජල බිඳු හරිට ග්‍රීෂ්මය නිවාලන දිව ඔසුවක් වගේ. මුහුදුකරයේ ක්ලෝරීන් මුහු කරපු වතුරත් එක්ක බලද්දි කොළඹකරයේ වුණත් එයා බලාපොරොත්තු වුණේ ඒ වගේම ක්ලෝරීන් වතුර.
ඒත් ශ්‍රී සුමංගල මාවත ඇතුළ් පාරේ ගම්මානයක් වගේ හුරු වුණු නිසාමයි එයා ඒ බෝඩිම පොඩි එකක් වුණ නමුත් ඉන්නවාමයි කියලා තීරණය කළෙත්. ඊටත් එහා කිවුල් වතුරවත්, ක්ලෝරීන් වතුරවත් නැතුව තිබුණු පිරිසිදු මිරිදිය වතුර ටික. වත්තෙම කපලා තිබුණු ළිඳෙන් එන වතුර ටික නම් එක අතකට වාසනාවන්.
ඒත් ගිය මාසේ නම් ළිඳ අස්සට කොහේදෝ ඉඳන් ආව බළල් තඩියෙක් වැටිලා අවසන් ගමන් ගියපු හින්දා ළිඳ ඉහලා කරලා ක්ලෝරීන් දාලා තිබුණා. ඒ මාසෙදි නම් එයාට දැනුනේ අර සුපුරුදු ගතියමයි.
ඒත් දැන් නම් එහෙම නෑ. දහසකුත් සිතුවිලි පිරුණු පාළු නිම්නයක හුදෙකලා වෙලා ඉද්දි නිරුවත් ගත සිප ගන්න වතුර ටිකත් එක්කම හදවතේ ගුලි වෙලා පෙරළි පෙරළි තියෙන දුක් දෝමනස්ස කන්දරාව දිය කරලා දාන්නමයි එයාගෙ හිත. ඒත් ගිය හකුරට නාඬා ඉන්න තරම් ඒ හිත දැන් හරි හයියයි.
බැට කන්න ඕනි හැම විදිහටම බැට කාලා උන්නු ඒ හිත දැන් හරි ශක්තිමත්. අඬන්න ඕනි තැන්වලදී ඇඬුවා. හිනාවෙන්න ඕනි තැන්වලදී හිනා වුණා. ජීවිතේ එහෙම්මමයි . ඒකාකාරීත්වයක් නැති ඒ ජීවිතේ විවිධාකාරයෙන් ගෙවෙනවා.
කඳුළුත් එක්ක ඒ ගත සිපගන්න දියබිඳු වලට ඔහේ ගලා ගෙන යන්න ඉඩ හැරීමට තරම් දැන් ඒ හිතට වුවමනාවක් නෑ. එහෙම්මම එයා පැයක් විතරම bathroom එකට වෙලා ජල මල යට උන්නේ දුක සිතින් නැතත් ගතින් හෝ සෝදා යවනු රිසියෙන්.
සිතේ තවත් දුක ඉතුරු කරන් ඇයි විඳවන්නේ. ආදරේ කළ බව සත්තයි. හදවතින්ම.. ඒත් ඒ සා දෝෂාරෝපණයක් දරාගෙන තවත් කොහොම නම් ආදරේ කරන්නද. පන්හිඳත් යන්න ගියේ ඒ ආදරේ මරලා දාලා.
මිගාන් ගැන ඒ හිතේ තිබුණු නමක් නැති හැඟීමක් තියෙන බව හැබෑවක්. ඒත් පන්හිඳ නගපු ඒ දෝෂාරෝපණය කිසිඳු වෙලාවක ඒ දෙහිතෙහිම නොතිබුණු දෙයක්. මිගාන් ආදරේ කළා ඒ හිතට. ඒත් එයා කවදාවත්ම සත්සිඳු එක්ක වැරදි දෙයක් කරන්න හිතුවෙම නෑ.
සත්සිඳුගේ හිතෙත් එහෙව් හැඟීමක් තිබුණා. ඒ හැඟීම ආදරේද.. නැත්නම් ආකර්ෂණයක්ද.. හිතාගන්නවත් බෑ. ඔව්, තාම සත්සිඳුටවත් ඒ හැඟීම මොකක්ද කියලා හිතාගන්න බෑ.
සත්සිඳු එයාට වරදක් කළා. එයා පන්හිඳට ආදරේ කරන අතරෙම මිගාන් ගැනත් නමක් නැති හැඟීමකට පණ දෙන්න වුණා. ඒත් ගැරඬියා.. එයා ඒ දේවල් ගැන දන්නෙවත් නැතුවයි සත්සිඳුට ආදරේ කළේ.
ඉතින් සත්සිඳුගේ හිත රිදුණේ මොකුත්ම නොදන්න ගැරඬියට නිකරුණේ නගපු දෝෂාරෝපණය නිසා. එයා bathroom එකේ ගත කරපු පැය ඇතුළතදී සම්පූර්ණ දුක් වේදනාවම අත් හැරලයි එළියට ආවේ. හරියටම වෙලාව 5.15 ට වෙලා තිබුණා.
සත්සිඳු කාමරයට ඇවිත් බැලුවේ mirror එකෙන් පේන එයාගෙ සේයා රුව දිහා. ඒ කම්මුල රතු වෙලා තිබුණා. යාන්තමට වගේ රතු වුණු කම්මුලේ බේබි ක්‍රීම් ටිකක් අරන් තවරා ගත්තු සත්සිඳු ඒ ලකුණ මැකිලා යන විදිහට අනිත් කම්මුලත් රතු වෙන්නම මිරිකා ගත්තා.
ඒත් අර කම්මුලේ ඇඟිලි පාරවල් පහක්ම හරියට හිටලා තියෙනවා. වෙලාවේ හැටියට එයාට ඕනි කළේ ඒ රතු වෙලා තිබුණු කම්මුල හිතුවක්කාර ගැරඬියගෙන් හංගා ගන්න විතරමයි.
එයා ආයෙමත් වතාවක් mirror එකෙන් මූණ දිහා බලලා එයත් එක්කම හිනා වෙලා ඇඳ ගාවට ගිහින් ඇඳුම දිහා මොහොතක් බලන් උන්නේ ඉණට අත් දෙකත් තියාගෙන.
සුදු පාට අත් දිග ලිනන් ෂර්ට් එකට ලා නිල් පාටට හුරු ඩෙනිම් කලිසම.. ඒකත් හරියට අහසට වලාකුළු වගේ ගැළපිල්ලක්..
" ජොක්කු ටිකක් ගන්නත් ඕනි... "
එයා ඉණට අත් දෙක තියාගෙන එයාටම කියාගත්තේ ඇඳ උඩ තිබුණු රතු පාට underwear එක දිහා බලන්. මාසයක දෙකක විතර ඉඳන් underwears ටිකක් ගන්න ඕනි කියලා හිතන් උන්නත් ගන්න වුණේම නෑ. කොයි වෙලාවෙත් අමතක වෙනවා.
පඩිය ගත්තත් බෝඩිම් කාමරේටයි, ලයිට් බිලටයි, වතුර බිලටයි එක්කහු කරලා කුලිය ගෙවන්න ඕනි. කන්න බොන්න බඩු මුට්ටු ගන්න ඕනි. ගෙදරට කීයක් හරි යවන්න ඕනි. අම්මගේ බෙහෙත් ටික ගන්න සල්ලි යවන්න ඕනි. නංගිගේ english ඩිප්ලෝමා එකට සල්ලි යවන්න ඕනි. එහෙම ගියාම එයාගෙ අතට ඉතුරු වෙන්නේ සොච්චමක් විතරමයි.
ඒ ඉතුරු වෙන සොච්චමෙනුත් යන්න එන්න බස් ගාස්තු වෙන් කළාම ලෙල්ල හුටං තමයි. දැන් නම් ඉතින් යන්න විතරයිනේ බස් ගාස්තු යන්නේ. එන්න නම් ඉතින් බයික් ගාස්තු තමයි. ඇයි ඉතින් ගැරඬි මහත්මයෙක් එයාගෙ බයික් එකත් අරන් එයාව එක්කන් යන්න එනවනේ..
ඇඳුමත් දාගෙන එයා සුදු පාට pillow slippers දෙකත් දාගෙන ආයෙමත් ගියේ mirror එක ඉස්සරහට. එයා ලස්සන හිනාවකුත් මූණේ පුරවගෙන බලන් උන්නේ ගෙවිලා ගිය අතීතය ගැන සතුටකටත් එහා ගිය සැනසීමකින් වගේ.
යා යුතු අය යනවා. එන අය කොහොමත් එනවා. ළඟින්ම රැඳෙනවා. වෙන දෙයක් වෙද්දෙන් කියලා එයා බලන් උන්නේ මුළු අනාගතයම දෛවයට භාර දීලා. දෛවය දැන් එයාට උත්තරයක් දීලා ඉවරයි. ඒ උත්තරේ දෛවය විසින් දෙන්න තීරණය කරපු හොඳ තීරණය වෙන්න ඇති.
මිනිත්තු ගෙවුණා. වෙලාව හරියටම 5.25 ට වෙලා තිබුණා. මිගාන් ඇඳන් උන්නෙත් සුදු අත් දිග ලිනන් ෂර්ට් එකට ඩෙනිම් කලිසමක්. White colour sneakers දෙකක් දාලා එයා phone එකයි , බයික් එකේ key එකයි අරගෙනම පඩිපෙළ බහින්න වුණා.
" සර් යන්නද..? "
බාබු අන්කල් කෑම කාමරය අතු ගගා ඉඳලා එයා පඩිපෙළ බහින හඬ ඇහිලා දුවගෙන ආවේ කොස්සත් පැත්තකට දාලා.
" ඔව් බාබු අන්කල්.. මං ගිහින් එන්නම්.. රෑට කෑම මොනා හරි හදන්නකෝ.. චිකන් අනම් මනම් ඕනි නෑ.. ඔය එළවලුවක් හදලා ගන්නකෝ... "
" හරි සර්... "
" එහෙනම් මං ගිහින් එන්නම් බාබු අන්කල්.. "
" හොඳයි සර්.. බුදු සරණයි...! "
එහෙම්මම එයා එළියට බැහැලා ගිහින් එයාගේ රූං කුරුල්ලා.. එයාගෙ kawazaki බයික් එකට ගිඩ වුණා. Full face හෙල්මට් එකත් දාගෙනම එයා බයික් එකත් start කරගෙන කිරුළපන ඉඳන් පන්නිපිටියා බලා පියාඹලා ගියේ හරියට පාර බදු අරන් වගේ.
බදු අරන් කියන්නේ ඒකත් හරි බද්දක් තමයි. 6 වෙද්දි බෝඩිම ගාව ඉන්නවයි කිව්ව හින්දා වේගයෙන් යන්නත් එපැයි. ගැරඬියා ඉතින් වෙනදාටත් වඩා වේගයෙන් ඉගිලිලා ගියා.
බෝඩිමට පිවිසෙන පාරේ තිබුණු වතුසුදු මල් ගස් වැටියේ සුදු පාට මල් පිපිලා. සත්සිඳු වේවැලෙන් වියපු මල් කූඩයත් අරන්ම එළියට බැහැලා පාර දෙපැත්තේ තියෙන මල් වැටිය ගාවට ගිහින් මල් නෙළන්න වුණේ හරියට භාවනාවකට සමවැදිලා වගේ.
එයා මල් කූඩය පිරෙන්නම මල් කැඩුවා. වතුසුදු මල් හරි හමන් සුවඳක් නැති බව ඇත්ත. ඒත් ඇත්ත තමයි, බුදු හාමුදුරුවන්ට වැඩිපුරම පූජා කරන්න ගන්නෙත් වතුසුදු මල් තමයි.
මල් කඩ කඩා උන්නු එයාට අවට පරිසරය ගැන කිසිම සිහියක් තිබුණේ නෑ. ඒ නිසා අර සුපුරුදු භාවනාවට සමවැදිලම එයා මල් කඩන්න වුණා. ඒක සමථ භාවනාවද නැත්නම් විපස්සනා භාවනාවද මන්දා හැබැයි.
කිරුළපන ඉඳන් පන්නිපිටියට ඇවිත් සුපුරුදු වේගය බාල කරලා ගැරඬියා ශ්‍රී සුමංගල පාර දිගේ බයික් එකත් අරන් එන්න වුණා. ඒ හින්දා බයික් එකෙන් එන අර අමුතු වේග බට්ටා සද්දෙ නම් ඇහෙනවා අඩුයි. එයා බෝඩිම කිට්ටු කරලා තවත් ටිකක් හෙමින් ඇවිත් බයික් එක එන්න එන්නම slow කළා.
ඈත තියාම මිගාන් දැක්කේ කූඩයකට සුදෝ සුදු වතුසුදු මල් නෙළන එයාගේ වතුසුදු මල..
එයා මූණේ හිනාවකුත් පුරවගෙනම ඇවිත් බයික් එක නතර කළේ අර භාවනාවකට සමවැදිලා වගේ මල් නෙළමින් උන්නු සත්සිඳුගේ , නැත්නම් එයාගෙ වතුසුදු මලේ නිමග්න කල්පනාව බිඳිමින්.
එයා එහෙම්මම මල් කූඩයත් අතේ තියාගෙනම ආපස්සට හැරුණේ තිගැස්සිලා ගිහින් වගේ. ඒත් එයා ඉස්සරහා ඇවිත් බයික් එකට වෙලා මූණේ හරි ලස්සන හිනාවක් පුරවගෙන ඉන්න දඩබ්බරකාර, හිතුවක්කාර කඩවසම් දේහදාරියාව දැක්කම හිතේ මොහොතකට හරි ඇති වුණු තිගැස්මක් තිබුණා නම් ඒකත් අතුරුදන් වෙලා ගියා.
" බය වුණාද..? "
එයා ඇහුවේ සුපුරුදු ලස්සන හිනාවත් එක්කමයි. සත්සිඳු උත්තර දුන්නෙ නෑ. පුන් පෝදා කළුවර අහස එළිය කරන හඳක් වගේ ලස්සන අවිහිංසක හිනාවකුත් මූණේ පුරවගෙන එයා අර නෙළා ගත්තු සුදෝ සුදු වතුසුදු මල් වට්ටියත් දෑතින්ම දරා ගෙන මිගාන් ගාවට යන්න වුණා.
මිගාන් බලන් උන්නෙත් හිනා වී ගෙනමයි .
" හරි පිං පාටයි දරුවෝ.. මගෙ වතුසුදු මල එයාම කඩපු ලස්සන වතුසුදු මල් වට්ටියකුත් අතේ තියාගෙන ලස්සනට හිනා වෙලා ඉද්දි හරියට පෝයට පායපු හඳක් වගේ.. මූණ හරි එළියයි.. පුදුම සිරියාවක්.. ඔය හිනාවේ තියෙන පිං පාටට අමාවක අහසත් එළිය කරන්න පුළුවන් මගෙ දරුවෝ... "
මිගාන් ඇස් දෙකත් හීනි කරන් මිමිණුවේ එයා ළඟට ළඟා වුණු සත්සිඳුගේ මූණ දිහා බලාගෙනමයි . එයාට කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. ඇත්තෙන්ම කතා කරන්න තරම් වචනත් හිතට ගලාගෙන එන්නේ නෑ.
' කිසිම වරදක් නොකළ රත්තරන් වටින මේ අහිංසක මනුස්සයටනේ පන්හිඳ අයියේ ඔයා නිකන් නිස්කාරණේ දොස් කිව්වේ... '
ඒ එයා නෙවෙයි එයාගේ හිත.
" ඔයත් හරි පිං පාටයි සර්.. සුදු පාට ලිනන් ෂර්ට් එකට හැඩකාරකමට වඩා මට නම් පේන්නේ පිංවන්ත පාටක්... "
එයා මිමිණුවේ රහසින් වගේ. ඒ ඇස් දෙකේ තියෙන අහිංසක දීප්තිමත් බැල්ම සත්සිඳුගේ හිතත් හරි හරියට වශී කරගන්නවා.
" Babaybabe , wash දාගත්තද..? "
" ඔව් සර්... "
" ඒක තමා සුවඳ... "
" ඇයි කලින් ගඳද...? "
එයා ඇහුවේ බොරු නෝක්කාඩුවක් මවාගෙන.
" අම්මේ නෑ නෑ... සුවඳයි සුවඳයි.... "
එයා කිව්වේ හිනා වෙන ගමන්. ඒත් එක්කම තොල් පෙරළගෙන නෝක්කාඩු බැල්මක් හෙලාගෙන උන්නු එයාගේ මූණට ලස්සන හිනාවක් ආවා.
" අහ් මේ... "
" ම්... "
" කෝ ඔයාගෙ අර පන්හිඳ අයියා..? "
එයා ඇහුවේ එච්චරමයි . ඒත් එක්කම අර ලස්සනට තිබුණු හිනාවත් අතුරුදන් වෙලා ගිහින් මූණ වැහි වලාකුළු ගොඩකින් පිරුණු අහසක් වගේ වුණා.
" ඇයි දරුවෝ...? "
එයා ඇහුවේ ප්රශ්නකාරී බැල්මක් එක්ක. එයාගෙ අඳුරු වුණු මුහුණත් එක්ක මිගාන් සැකමුසු බැල්මක් හෙලාගෙනම බයික් එකෙන් බැහැලා ඇවිත් සත්සිඳුගේ මූණ දෝතටම ගත්තා.
" සත්සිඳු , ඇයි දරුවෝ මේ.. ඇයි මේ ඇස් බොඳ කරන්.. මොකක්ද මගෙ දරුවෝ වුනේ.. මට කියන්නකෝ ඉතින් මාව බය නොකර... "
එයා ඒ මූණ දෝතට අරගෙනමයි කතා කළේ. ඒත් සත්සිඳු ඒ බොඳ වුණු දෙනෙත් යුග බිමට හරවගෙනම උන්නා.
" සත්සිඳු.. මට කියන්න. මොකක්ද වුණේ..? "
" ඒක දිග කතාවක් සර්... "
එයා කිව්වේ බිඳුණු හඬින්.
" මොකක්ද..? "
" මේ ඒ කතාව කියන්න වෙලාව නෙවෙයි සර්.. මං අනිවාරෙන්ම දවසක සර්ට හැමදේම කියන්නම්.. මට එතකන් කල් දෙන්න.. මං ඉල්ලන්නේ එච්චරමයි... "
එයා ඉකිබිඳින්න ඔන්න මෙන්න තියෙන කටහඬකින් කිව්වා.
" හරි.. හරි.. දැන් ඔක්කොම හරි..ම්ම්...cool down.. දැන් අඬන්නැතුව ඉන්නකො මගෙ හොඳ දරුවා වගේ.. ඔයා අඬද්දි මගෙත් හිත රිදෙනවනේ... "
" මං අඬන්නෑ සර්... "
" එහෙනම් මේ ඇස්වල කඳුළු... "
එයා ඇහුවේ තවමත් ඒ මූණ එයාගෙ දෝතෙම රඳවගෙන .
" මං දන්නෑ.. මගෙ හිත හරි බරයි සර්.. මට සැනසීමක් නැති ගානයි... "
" අනේ එහෙම කියන්න එපා.. මං ඉන්නවනේ.. ඇයි එහෙම කියන්නේ.. මොන ප්‍රශ්නෙ ආවත් මං අත් හරින්නෑ.. මං මේ අත අල්ලගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කවදාවත්ම අත් හරින්න හිතාගෙන නෙවෙයි.. අපි දෙන්නගෙන් එක්කෙනෙක් කවදා හරි දවසක මරණයට ඉස්සර වේවි.. ඒ මොහොත වෙනකන්ම මේ අත මං අල්ලගෙනම ඉන්නවා.. කෝ ඉතින් හිනාවෙන්නකෝ.. ගැරඬියා ඉන්නවනේ ඉතින් මගෙ පත්තරයා එක්ක.. ම්... "
එයා අන්තිමටම කිව්ව දේත් එක්ක නම් සත්සිඳු එහෙම්මම හිනා ගියා.
" අන්න හරි.. ඔය ඇස්වලට කඳුළු හරි කැතයි.. හැබැයි වතුසුදු මලට පැන් ඉහලා වගෙත් එක්ක... "
" මං දොර වහලා එන්නද..? "
" හ්ම්..හරි.. කෝ පන්හිඳ ආපහු ගියාද..? "
" හ්ම්.. ගියා... "
" එහෙනම් ඉක්මනට එන්න... "
එයා හිස වනලා කාමරයට දුවලා ගිහින් පොලිතීන් කවරයකට නෙලා ගත්තු වතුසුදු මල් කූඩයත් දාගෙන දොරත් ලොක් කරන් එද්දි මිගාන් උන්නෙ බයික් එකට නැඟලා.
සත්සිඳු හිනාවකුත් දාගෙනම එද්දි එයාගෙ මූණේ තිබුණු පිං පාට මිගාන් ඈත තියාම දැක්කා. ඒ රුව හරියට භාවනාවකට සමවැදෙන්න තරම් පිවිතුරු කමටහනක් වගෙයි මිගාන්ට දැනුනේ. එයා හිනා වී ගෙනම බලන් උන්නා.
" යමුද..? "
එයා බයික් එක ගාවට ඇවිත් හුරතල් විදිහට හිනා වෙලා කියද්දි මිගානුත් හිනා වුණේ හරි සුන්දර තැන්පත් බවක් එක්ක.
" යං.. හැබැයි ඊට ඉස්සෙල්ලා එන්න මේ හෙල්මට් එක දාන්න.. නැත්නම් ඉතින් කොල්ලා පන්නිපිටියේ ඉද්දි මං බෙල්ලන්විල ඉඳියි... "
එයා හිනා වෙවී කියද්දි සත්සිඳු මල් කූඩය දාපු කවරයත් අතේ තියාගෙනම එයා ගාවට ගියා.
අරන් ආව අනිත් හෙල්මට් එක සත්සිඳුට දාන අතරතුරේදී මිගාන් ඒ ඇස් දිහා බැලුවේ නිකමට වගේ. අහිංසක විදිහේ බැල්මක් එක්ක ප්‍රසන්න විදිහට ඒ ඇස් යොමු වෙලා තිබුණෙත් මිගාන්ගේ ඇස් දිහාවටමයි .
" ඇයි..? "
මිගාන් ඇහුවේ රහසින් වගේ.
" ම්හ්..නිකන්... "
" ඉතින් ඇස් දිහා බලන් ඉන්නේ... "
" ඇයි එපාද...? "
" ජීවිත කාලෙම වුණත් කමක් නෑ.. බලන් ඉන්න.."
සත්සිඳු හිනා වෙලා බිම බලාගත්තේ ඒ ඇස් මඟ හරින්න.
" ඇස් මඟ ඇරියට කමක් නෑ.. නඟින්න දැන්.. හෙල්මට් එක දාලා ඉවරයි... "
එයා එහෙම කිව්වට පස්සේ සත්සිඳු ආයෙමත් එක වතාවක් එයාගෙ ඇස් දිහා බැලුවා. ඒ ඇස් දෙකේ බැල්ම නම් තාමත් එහෙම්මමයි . එයා ඒ ඇස් දිහා තවත් තත්පර දෙකක් හෝ තුනක් බලා ඉන්න ඇති.
" නඟින්න... "
ඊළඟ වතාවේ එයා කිව්වම සත්සිඳු දෙවරක් නොහිතාම එයාගෙ උරහිස් දෙකත් අල්ලගෙන බයික් එකට ගොඩ වුණේ මල් කූඩය දාපු කවරයත් මිගාන්ගේ අතට දීලා. මිගාන් ඒ මොහොතේ තිබුණු අඩ අඳුර මැද්දෙන් වුණත් බයික් එකේ side mirror එකෙන් ආයෙමත් වතාවක් ඒ මූණ දිහා බලලා යාන්තමට හිනා වුණා.
ඒත් එක්කම පණ ගැන්වුණු kawazaki බයික් එක ශ්‍රී සුමංගල පාර දිගේ ගිහින් පන්නිපිටියට වැටුණේ බෙල්ලන්විල පන්සලට යන්න.
මීළඟ කොටසට ...