Cherreads

Chapter 23 - 23

ඈත කඳු හිස සිපගෙන එන සුළං දහරක් හිමිදිරි උදේම දස අත හමාගෙන ගියා. ඈතින් පායගෙන ආපු ඉර කඳු අතරින් එන්නත් ඉස්සරම වගේ කුරුල්ලෝ උදේම සංචාරය පටන් ගත්තා. අත වෙලාගෙන ඉන්න බැන්ඩේජ් එක නිසා මිගාන් රෑට අඳින්න sleeprobe එක ගන්නෙ නැතුව normal ස්කිනි එකකුයි , short එකකුයි විතරක් ඇඳලා හිටියේ .

" සර්... සර්... සර්... "

ඇඟේ මහන්සියටත් වඩා හිතේ මහන්සිය වැඩි හින්දද කොහෙද කොල්ලට හොඳටම නින්ද ගිහිල්ලයි තිබුණේ . ඉතින් බාබු අන්කල් කොච්චර දොරට තඩි බෑවත් එයාට නම් ඒවා කණකටවත් ඇහෙන්නේ නෑ.

උදේ පාන්දරම වගේ හදපු fresh milk මග් එකත් අරගෙන බාබු අන්කල් දොර ගාව හිටගෙන . ඒත් එක්කම වගේ ජේකබ් එතනට ඇවිත් කාමරේ දොරකඩ හිටගත්තා.

" අනේ බලන්නකෝ ජේකබ් සර්.. අපේ සර් දොර අරින්නෙ නෑනේ.. "

බාබු කිව්වේ ජේකබ් දිහා කණගාටු සහගත බැල්මක් හෙලන ගමන්.

" ඕක මට දීලා බාබු යන්නකෝ කිචන් එකට... "

ජේකබ්ගේ වචනයෙන් පස්සේ බාබු අන්කල් fresh milk මග් එක ජේකබ් අතට දීලා පඩිපෙළ බැස්සේ හෙමින් හෙමින්. ජේකබ් නම් දෙපාර දොරට තඩි බාද්දී කොල්ලා ඇහැරෙනවා.

" සර්... සර්... "

ජේකබ් දොරට තඩි බාන ගමන් කතා කළා.

" මොකද යකෝ...නිදාගන්න දීපන් මට..... "

කොල්ලා කාමරේ ඇතුළේ ඉඳන් නිදාගෙනම කෑ ගහනවා.

" සර්.. අද යන්නැද්ද?"

ඒත් එක්කම වගේ කොල්ලගෙ ඇස් දෙක ඇරුණෙ හරි පුදුමාකාර විදිහට . එහෙම්මම ඇස් ලොකු වෙලා කොල්ලා ඇඳෙන් නැඟිට්ටේ හරි කලබලෙන්.

" අප්පට සිරි..."

කොල්ලා එහෙම්මම ඇඳේ පැත්තකින් තිබුණු phone එකත් අතට අරන් වෙලාව බැලුවා. හරියටම වෙලාව උදේ 7.10 යි.

" ජේකබ්....ඉක්මනට ලෑස්ති වෙයන්.. මං ඇඳුමක් දාන් එන්නම්... "

ගැරඬියා බෙරිහන් දෙන්න ගත්තේ කාමරේ ඇතුළේ ඉඳන්මයි.

" සර්.. මේ fresh milk මග් එක... "

ජේකබ් කාමරේ දොර ගාව හිටගෙන කොල්ලට මතක් කළා. ඒත් එක්කම වගේ කාමරේ දොර විවර කරපු ගැරඬියා fresh milk මග් එකත් අතට අරන් ජේකබ් එක්ක හිනා වුණා .

" මං විනාඩියට ලෑස්ති වෙලා එන්නම්.. උඹ පහළින් ඉඳපන්.. "

එහෙම කියලා මිගාන් දොර වැහුවා. Fresh milk මග් එක table එකක් උඩින් තියලා කොල්ලා wash room එක අස්සට යද්දිම වගේ තමයි ජේකබ් පඩිපෙළ බැහැලා පහළට ගියෙත්. කොහෙන් කොහොම ගියත් කොල්ලගේ විනාඩිය හෝ විනාඩි දෙක කියන්නේ මේ ලෝකයට අයිති වෙලාවක් නොවන බව නම් ජේකබ් දන්නවා.

මොකද එයාට විනාඩියක් කියන්නේ පැයක් වගේ කාලයක්. විනාඩියට ලෑස්ති වෙලා එන්නම් කියලා ගියාට මොකද ගැරඬියා ලෑස්ති වෙලා එද්දිම පැයක් විතර යන බව ජේකබ් දන්නවා. ඇඳුම් ටික හරියට මැච් කරලා , ඒවට ගැලපෙන shoes මැච් කරලා , දාන sunglasses දෙකත් හරියටම තෝරගෙන තමයි එයා පල්ලම් බහින්නේ.

ඉතින් තවත් පැයක් විතර ඉන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ජේකබ් පහළට ගිහින් සෙටි එකේ වාඩි වුණා . මිගාන් ඉක්මනට ලෑස්ති වුණේ ඒ ගමන යන්න ඕනි හින්දමයි. කොහොම හරි එයාට ඕනි වුණේ සත්සිඳුව හොයාගන්න විතරමයි. දැන් නම් තවත් එක මොහොතක්වත් එයාව නොදැක ඉන්න බැරි ගානට මිගාන්ගේ හිත බර වෙලා .

කොළ පාටට හුරු cargo pant එකක් ඇඳලා, සුදු අත් දිග ටී ෂර්ට් එකයි.. සුදු පාට nike blazer shoes දෙක දාලා.. කොල්ලා මාරම handsome . විනාඩි විස්සක් යන්නත් ඉස්සර පඩිපෙළ බැහැගෙන එන ඩිනෝ මිගාන් සමරදිවාකර දැකලා ජේකබ්ටත් පුදුමයි.

" ඇයි බං නිකන් කන්න වගේ බලන් ඉන්නේ? "

ජේකබ් කොල්ලා දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉද්දි කොල්ලා ඇහුවේ ඇස් දෙකත් උඩ දාගෙන .

" සර්.. සර් විනාඩි විස්සට ආවද? මං හිතුවෙ තව පැයක්වත් යයි කියලා... "

ජේකබ් එහෙම කියලා යාන්තමට වගේ හිනා වුණා .

" අනේ යකෝ..... තොපි මං ගැන හිතන් ඉන්න හැටි...බලපන් ඉතින්.. "

කොල්ලත් කිව්වේ හිනා වෙලා .

" හරි හරි, යං සර්.. නැත්නම් පරක්කු වෙයි... "

ගැරඬියා ජේකබ් එක්ක ජීප් එකට ගොඩ වුණා . දෙපැත්තෙම තිබුණ කොළ පාටට හුරු පාරාදීසය නම් ඒ මොහොතෙ මිගාන්ගේ හිතට ගෙනත් දුන්නේ පුදුමාකාර සැනසීමක්. ජීප් එක තුම්මුල්ල පහු කරන් කුමාරතුංග මුනිදාස මාවතේ අර සුපුරුදු නුග ගහ යටින්ම නතර වුණා .

වෙලාව 8 ටත් කිට්ටුයි. මිගාන් ජේකබ් එක්ක අර නුග ගහ යට ජීප් එකත් නවත්තගෙන බලන් ඉන්නේ සත්සිඳු ඒවි කියලා . මඟ බලන් ඉඳලා මිගාන්ගේ ඇසුත් රිදෙනවා. ඒත් එයා නම් පේන තෙක් මානෙක නෑ.

කොච්චර අසනීප වෙලා හිටියත් මොකද සත්සිඳුව එක තත්පරයකට හරි ඇස් දෙකට පේන තුරු එයාගෙ හිතට සැනසුමක් නම් නෑ. මිගාන්ට වෙලාවකට හිතෙන්නෙම ඕනි දෙයක් වෙද්දෙන් කියලා ගාල්ල පීරලා හරි කොල්ලව හොයා ගන්න. ඒත් එහෙම යන එක කොල්ලටම හරි නැති බව මිගාන් දන්න හින්දා එයා ඒ අදහස අත් හැරියා.

කුමාරතුංග මුනිදාස මාවතේ ජීප් එකත් නවත්තගෙන බලන් ඉන්න ගැරඬියගේ ඇස් දෙක යොමු වෙලා තිබුණේ තුම්මුල්ල පැත්තට. කොයි වෙලාවක හරි එයා ඒ පැත්තෙන් මතු වෙයි කියලා මහා ලොකු බලාපොරොත්තුවක් ඒ හිතේ ගැබ් වෙලා තිබුණා .

ජීප් එක ඇතුළේ ඉඳලත් කොල්ලට හරි වෙහෙසයි. ඉතින් කොල්ලා එහෙම්මම එළියට බැහැලා ගල් අතුරලා හදලා තිබුණු මාවතේ එහෙ මෙහෙ ඇවිද ඇවිද උන්නා. ජේකබ් හිටියේ නම් ජීප් එක ඇතුළෙමයි. තත්පර , මිනිත්තු ගෙවිලා ගිය විදිහ හිතාගන්නවත් බෑ.

ඒත් ඒ තත්පර , මිනිත්තු කොච්චර ගෙවිලා ගියත් අර අහිංසකයගෙ රුව නම් කුමාරතුංග මුනිදාස මාවතෙන් මතු වුණේ නෑ. වෙනදා නම් මේ නුග ගහ යට කොච්චර සිසිලක් , සැනසීමක් තිබුණද? ඒත් දැන්.. දැන් ඒ සැනසීම හොරු අරන් ගිහින් වගේ.

වෙනදා තිබුණ සිසිලස මුහු වෙච්චි සැනසීම වෙනුවට හදවත පිච්චෙන ගින්දරක් විතරක්ම දැනෙන්නේ අර අහිංසකයගේ රුව ඇස් මානෙට එන්නෙ නැති නිසා මිස වෙන කාරණාවක් නිසා නෙවෙයි .

කොල්ලා එළියට බැහැලා ඔහේ පිස්සෙක් වගේ ඇවිද ඇවිද ඉන්න හැටි දැක්කම ජේකබ්ගේ හිතට වාවන්නෙත් නෑ. කොල්ලා එහෙම දුක් විඳින හැටි ජේකබ්ට බලන් ඉන්න පුළුවන්කමක් ඇත්තෙත් නෑ. ඉතින් කොල්ලගේ සතුට වෙනුවෙන් සත්සිඳු ඉන්න තැනකට ගිහින් උස්සගෙන එන්න තරම් ජේකබ්ට හිතුණා .

බලන් ඉඳලා ඉඳලා බැරිම තැන ජේකබ් එළියට බැස්සේ වෙලාවත් බලලමයි. හරියටම ඒ වෙද්දි වෙලාව උදේ 10 පහු වෙලා මිනිත්තු 25 යි.

" සර්... "

ජේකබ් කොල්ලට කතා කළේ ජීප් එකෙන් එළියට ඇවිල්ලා. ඒත් එක්කම මිගාන් ඔළුව හරවලා ජේකබ් දිහා බැලුවා.

" සර්.. අපි යමු නේද ? වෙලාව දැන් 10.25 යි.. අද නම් එයි කියලා හිතන්න බෑ සර්.."

ඒත් එක්කම වගේ කොල්ලගේ මූණ හරියට අඳුරු වෙලා ගියේ හිතේ තිබුණ බලාපොරොත්තු සේරම ගංවතුරකට අහු වෙලා ගහගෙන ගියා වගේ.. ඒ මූණ අඳුරු වුණෙත් නිල් අහසට ආව අඳුරු වලාකුළක් ගානට..

මිගාන්ගේ හිත දැන් නම් දන්නවා එයා නොඑන බව. ඉතින් තවත් ඒ නුග ගහ යට හෙවණට වෙලා බලන් ඉඳලා තේරුමක් නැති බව කොල්ලා දන්නවා. කරන්න කියලා කිසිම දෙයක් ඉතුරු නැති තැන මිගාන් එහෙම්මම බිම බලාගෙන ගිහින් ජීප් එකට ගොඩ වුණා . කොල්ලා බිම බලන් යන දිහා ජේකබ් බලන් හිටියේ කණගාටුවෙන් වගේ.

මිගාන් ජීප් එකට නැගලා මිනිත්තුවක් ගත වෙන්නත් ඉස්සර ජේකබුත් ජීප් එකට නැගල වාහනේ start කළා. කුමාරතුංග මුනිදාස මාවතෙන් තුම්මුල්ල හරහා වැටුණ ජීප් එක ඔහේ ඉස්සරහටම ඇදුණා.

මිගාන් උන්නේ එකම එක වචනයක්වත් කතා නොකර ඔහේ පාඩුවේ ඉස්සරහ බලාගෙන . ජීප් එක drive කරන ගමන් සැරෙන් සැරේ ජේකබ් ගැරඬියගේ මූණ දිහා බැලුවත් එයා හිටියේ එකම ඉරියව්වකින් විතරයි . ඒ මූණ අඳුරු වැහි වලාකුළක් ගානටම කළු වෙලා ගිහින්.

ඇත්තෙන්ම මිගාන්ගේ මේ වෙනස ගැන ළඟම ඉන්න නින්ජාකාරයා වෙලත් ජේකබ්ටවත් හිතාගන්න බෑ. ඩිනෝ මිගාන් සමරදිවාකර කියන්නේ මෙහෙම හිටපු මනුස්සයෙක් නෙවෙයි . Night club එකකට ගිහින් විස්කි වීදුරුවක් හරි බියර් වීදුරුවක් හරි අරන් ටිකක් dance කරලා විනෝද වෙලා කාලය ගත කරාපු කොල්ලෙක්. ඒත් ඒ හිතුවක්කාර, මුරණ්ඩු ඩිනෝ මිගාන් සමරදිවාකරට වුණේ මොකක්ද කියලා නම් ජේකබ්ටවත් හිතා ගන්න බෑ.

" ඇයි බං එයා මට මෙහෙම කරන්නේ? "

මිගාන් ජේකබ්ගෙන් ඇහුවේ ඉස්සරහා බලාගෙන බිඳුණු කට හඬකින් . ඒ හිත කොච්චර හිතුවක්කාර , මුරණ්ඩු , සෙල්ලක්කාර එකක් වුණත් මොකද ඒ මොහොතේ නම් හිටියේ කොච්චර දුකකින්ද, වේදනාවකින්ද කියලා ජේකබ් තේරුම් ගත්තේ ඒ බිඳුණු කටහඬ නිසාමයි.

" සර්..."

ජේකබ් කොල්ලත් එක්ක කතා කළේ ජීප් එක drive කරන ගමන්මයි.

" මං එයාට ආදරෙයි බං.. මං මගෙ පණටත් වඩා ආදරෙයි.. ඒත්... ඒත් ඇයි එයා මගේ ආදරේ තේරුම් ගන්නැත්තේ ?"

කොල්ලට දැන් නම් ඇඬෙන්න ඔන්න මෙන්න. ඒත් කොල්ලා මෙහෙම හිතෙන් වැටෙන විදිහ ජේකබ්ට නම් බලන් ඉන්න පුළුවන්කමක් නෑ.

" සර්... හිත කලබල කරගන්න එපා කියලා කියන්න මට බෑ.. මං දන්නවා සර්.. සර් මට නොකිව්වට ඒ කොල්ලා ගැන අනේක වාරයක් හිතනවා කියලා.. සර්ට ඒ කොල්ලව නොදැක එක තත්පරයක් ඉන්න බැරි බවත් මට තේරෙනවා.. ඒත් ඉවසන්න සර්.. පුළුවන් තරම් ඉවසන්න... "

ජේකබ් පුළුවන් තරම් වචන පාවිච්චි කරලා බැලුවේ නපුරු ගැරඬියගේ හිත හදන්න. ඒත් ඒ හිත නම් හොඳටම බිඳිලා ගිහින්. ඒ බිඳුණු හිත ආයෙමත් හදන්න නම් සත්සිඳු මකරන්ද කියන නිමැවුම්කරුවාම ඕනි වෙනවා.

ජීවිතේ ගැන මිගාන් ඉස්සර හිතුව විදිහ ඒ මොහොත වෙද්දි ගොඩාක් වෙනස් වෙලා ගිහින්. කෙල්ලොත් එක්ක room ගානේ ගිහින් සැප වින්ද මිගාන් හෙවත් නපුරු ගැරඬියගේ හිත දැන් ආදරේ හින්දම පුදුමාකාර විදිහට වෙනස් වෙලා .

ඒත් ඒ ආදරේ නිසාවත් මිගාන් මෙච්චර විඳවනවා බලන්න නම් ජේකබ්ගේ හිතේ කැමැත්තක් නෑ. ඉතින් එයාට ඕනි කළේම මිගාන්ගේ හිතෙන් ඈත් වෙලා ගිහින් තිබුණ සතුට ආයෙමත් ඒ හිතට ගෙනත් දෙන්න. සත්සිඳු නැතත් ඒ සතුට ආයෙමත් ගෙනත් දීලා පරණ ඩිනෝ මිගාන් සමරදිවාකරවම ගේන්න පුළුවන් ක්‍රමයක් ගැන drive කරන මොහොතෙත් ජේකබ්ගේ හිත ඇතුළේ ලොකුම ලොකු plan එකක් ඇඳෙමිනුයි තිබුණේ .

ගෙවෙන තත්පරයක් ගානෙම හිතට දැනුනේ හරි පුදුමාකාර වේදනාවක්. කිරි අම්මා මේ මුළු ගෙදරින්ම ඈත් වෙලා යන්න තවත් පැය කිහිපයක් විතරයි ඉතුරු වෙලා තිබුණේ . ජීවිතේ අහම්බයන් ඇතුළේ සිද්ධ වෙච්චි හරි පුදුමාකාර ඒ අහම්බය ඒ හිතට දරාගන්නම බෑ. ඒත් ඒ හැම තත්පරයකම ඒ ඇස්වලින් වැටෙන කඳුළක් ගානෙම ආදරෙන් පපුවට තුරුළු කරගෙන හිත සනසවන්න තරම් පන්හිඳගේ හිතේ තිබුණේ හරි පුදුමාකාර ආදරයක්.

ඈත අහසේ තද හිරු රැස් හරි වෙහෙසකාරී බවක් එක් කරමින් බලන් හිටියා. ඒත් මුහුදු හුළඟත් එක්ක ඒ වෙහෙස නිවෙන්නේ ගතත් සිතත් දෙකම පිනවමින්. ඒ කොහොම කළත් කිරි අම්මගේ මළගමත් එක්ක සත්සිඳුගේ මුළු හිතමත් මළගමක් වෙලා ඉවරයි.

තව ටික වෙලාවකින් කිරි අම්මා වැල්ලෙ ගෙදරින් යන්නම යනවා කියලා මතක් වෙද්දි පපුව ඇතුළේ හට ගන්න වේදනාව කොල්ලට දරා ගන්නම බෑ. ඒ කොහොම කළත් කොල්ලා ඉවසාගෙනම ඉන්න පුළුවන් තරම් උත්සාහ කළා. ඒත් ඒ හිත කොච්චර ඉවසුවත් ඒ ඇස් නම් ඉවසන්නේ නෑ.

ඇස් දෙකෙන් ඔහේ ගලන් යන කඳුළු නිසොල්මනේම කම්මුල් දිගේ රූරා ගෙන යනවා. ඒ කඳුළු බිංදු වැටෙන බවක් වත් සත්සිඳුට හරියට තේරුණේ නැත්තේ එයා හිටිය භෞතික ලෝකය ගැන මුළුමනින්ම අමතක කරවලා.

ළඟ පාතක කවුරු කොහොම කොයි විදිහට උන්නත් එයාගෙ නෙතටවත් , සිතටවත් , ගතටවත් ඒ ගැන කිසි නිනව්වක් තිබුණේ නැත්තේ එයා හිටියේ මේ ලෝකය ගැන පියවි සිහියකින් නොවන හින්දා. පපුව පසාරු කරන් යන පිහි ඇනුමක් වගේ වේදනාවකුයි , පන්හිඳගේ සියුම් ස්පර්ශයකුයි , ඇස්වලින් ගලන කඳුළු බිංදුයි විතරක් එයාගෙ තනියට ඉන්න බව විතරක්ම සත්සිඳුගේ හිත එකම එක තත්පරයකට තේරුම් ගත්තා.

කිරි අම්මගේ නිසල දේහය තිබුණ ඒ මිනී පෙට්ටිය වැහෙද්දි අම්මගෙත්, නංගිගෙත් වැලපිල්ල කොල්ලා අහන් උන්නේ අවසිහියෙන් වගේ. හරියට එයා හිටියෙම මේ ලෝකයේ තවදුරටත් ජීවත් නොවන කෙනෙක් ගානට. හිත තවත් හෙල්ලෙන්න දෙයක් ඉතුරු වෙලා නැති තැන කිරි අම්මගේ නිසල දේහය මිනී පෙට්ටියෙ දෙපියනෙන් වැසී යද්දි දරාගන්න අමාරුම බව දැන දැනත් එයා කළේ දොරකඩ උළුවස්ස බදාගෙන අර ඇස්වලින් වැටෙන කඳුළු බිංදුවලට ඔහේ ගලන් යන්න ඉඩ දීපු එක විතරමයි.

අම්මගෙත්, නංගිගෙත් වැලපිලි මැද එළියට ගත්තු කිරි අම්මගේ දේහය වෙනුවෙන් අවසාන වතාවත් කරන්න පන්සලකින් හාමුදුරුවෝ වඩම්මලා තිබුණේ පන්හිඳ අයියාමයි. වැල්ලේ හිටපු බහුතරයක් කතෝලික වුනාට මොකද පවුල් කිහිපයක්ම බෞද්ධ . ඉතින් කිරි අම්මගේ අවසන් කටයුතු සිද්ධ කෙරුණෙත් ඒ විදිහට .

පැන් වඩන මොහොතෙදි වුණත් සත්සිඳු පුළුවන් තරම් ඉවසාගෙනම හිටියේ පුළුවන්කමකට නෙවෙයි. ඒත් එයාගෙ තිබුණ පැහැදිලි වෙනස තේරුම් ගන්න පන්හිඳට වුණත් බැරි වුණා . සත්සිඳු හිටියේ මහා විශාල කම්පනයක. ඒක එසේ මෙසේ කම්පනයක් නෙවෙයි. එයාගෙ හදවතට නම් ඒක භූමි කම්පාවක් ගානයි.

ඒත් කාත් එක්කවත් වචනයක් කතා නොකර ගල් කරගත්තු හිත පාංශුකූලය වෙලාවෙදි හාමුදුරුවෝ කියපු වචනත් එක්ක එහෙම්මම දියවෙලා ගියේ අර දැඩි කම්පනයත් එක්කමයි.

අවසානයේ කිරි අම්මගේ නිසල දේහය රැගත් පෙට්ටියට කර තිබ්බත් එයා හිටපු අභෞතික ලෝකයෙන් එයාට මිදෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. එයාට ඇහුණේ අම්මගෙත්, නංගිගෙත් අතොරක් නැති වැලපිල්ල විතරමයි ; යාන්තමට හිසකෙස් අතර ඇඟිලි යවමින් හිස අතගාන පන්හිඳ අයියගේ රළු කටහඬ විතරමයි.

ඒ හඬ එයාට ඒ මොහොතේ දැනුනේ ආත්මීය ස්වරයක් තාලයට. පිච්චි පිච්චී උන්නු එයාගෙ මුළු ආත්මයම සුවපත් කරන්න තරම් පන්හිඳ අයියගේ ඇඟිලි තුඩුවලත් , වචනවලත් කොයි තරම් ලොකු හාස්කමක් තිබුණද කියලා එයාට හිතාගන්නවත් බෑ.

" අඬන්න එපා සුදු චූටි.. උඹ වෙනුවෙන් මං ඉන්නවා මගෙ සුදු චූටි.. කිරි අම්මා ගියේ ආයෙමත් නොඑන ගමනක්.. අමාරුවෙන් වුණත් ඒ ඇත්ත පිලිගන්න ඕනි රත්තරනේ... මං පොරොන්දු වෙනවා, අදින් පස්සෙ.. මේ මොහොතේ මේ ගෙවෙන තත්පරේ ඉඳලා මං වෙනදටත් වඩා උඹව ආරක්ෂා කරනවා මගෙ සුදු චූටි.. දැන් අපි ගෙදර යමු... "

කිරි අම්මා භූමදානය කළ වළ ළඟට වෙලා අඬ අඬා උන්නු ඒ මොහොතෙදි පන්හිඳ ඇවිත් එයාගේ උරහිසට සත්සිඳුව වාරු කරගෙන ගෙදරට එක්කගෙන ගියා. ඒත් එයාට අර හරි හමන් සිහියක් තියෙන පියවි ලෝකයට එන්න තරම් නම් හැකියාවක් තිබුණේ නෑ. එයාගේ පියවි සිහිය පිරුණු පැයක් නම් එයා උන්නේ එහි තත්පරයක වගේ තැනක.

ඉතින් තත්පර කොහෙද නොවැදගත්? ජීවිතේ ගෙවෙන්නේ මේ තත්පර හින්දා . ඉතින් ඒ තත්පර එක්ක ගෙවෙන ජීවිතේ වෙනස් කරන්නෙත් ඒ තත්පර විසින්මයි.

හැන්දෑ අහසේ ලෝහිත පැහැයෙන් පිරුණු වලා පටල කිහිපයක් ඇරෙන්න කිසිම එළියක් නැති ගානයි. මළ හිරු කිරණ ක්ෂිතිජය මායිමේ යාන්තමට පේනවා. ඒ හරියට ලෝකෙන්ම යන්න ගිය , මතක පමණක් ඉතුරු කළ කිරි අම්මා වගේ.

රෑ හඳ එළිය එහා කොණක ඉඳන් අහස මුදුනට එන්න ලොකු තරඟයක. අවසිහියෙන් ගෙවෙන හැම තත්පරයක් ගානෙම එයාගෙ මනස එයාටම නොදැනිම කොහේද ලෝකයක අතරමං වෙනවා. ඒ ලෝකය හරියට එයාට එළියක් හොයාගන්න බැරි ලෝකයක් වගේ. ඒ ලෝකෙට ආව දොරටුවක් වත් , පිටවෙන්න තියෙන දොරටුවක් වත් එයාට හොයාගන්න බෑ.

නිල් පාට මුහුද දැන් නම් කළුවර අඳුරකින් වෙලාගෙන. ඒත් හරියට අර හිත වගේ. නිරුවත් දෙපා ඔහේ සිනිඳු වැල්ල දිගේ ඇවිදගෙන ගියේ යන දිශානතියක් ගැනවත් නිනව්වක් නැතිව. පැත්තකින් තිබුණ මාරියා බෝට්ටුව ඇරෙන්න මුළු වෙරළම පාළු කතරක් ගානයි. මුහුද රැල්ල නගන්නේ ඒ පාළුව නැති කරන්න වගේ. දවල් වගේ නොවෙන රෑ ඒ මුහුද අඳුරු කළුවර වෙරළ තීරය සිපගන්නේ සරාගී අභිසරු ලියක් වගේ.

ඒත් ඒ මුහුදේ හඬවත් අර හිතේ අයිතිකාරයට නෑහෙන්නේ එයා උන්නු අවසිහිය නිසාමයි. මාරියා බෝට්ටුවට යාබද වෙන්න තිබුණ පොල් ගහක් මුහුදු හුළං එක්ක හෙල්ලි හෙල්ලි උන්නා. වැල්ලෙම ඔහේ වාඩි වුණ සත්සිඳු එයාගෙ දණහිස් දෙක අත් දෙකෙන් බදාගෙන ඈත මුහුදු හතක් දිහා බලන්න වගේ අවිනිශ්චිත ඇහිපිල්ලම් ගසමින් නිදැල්ලේම උන්නා.

" සුදු චූටි... "

පන්හිඳ එයාගෙ පිටිපස්සෙන් ඇවිත් හිටගෙන උන්නේ සත්සිඳුගේ තනිකම මකන්න මිස එයාගෙ කල්පනාව බිඳින්න හිතාගෙන නෙවෙයි. එහෙම්මම සත්සිඳු ගාවට ඇවිත් ඒ විදිහටම වාඩි වුණු පන්හිඳත් බලන් හිටියේ ඈත මුහුදු කුස දිහා.දෙන්නම එක වගේ උන්නත් වෙනසකට තිබුණේ සත්සිඳු උන්නු අවසිහියත්, පන්හිඳ උන්නු සිහියත් කියන දෙක නිසා..

" මුහුද හරි සැරයි අයියේ... "

උදේ හිට එකම එක වචනයක්වත් කතා නොකර උන්නු සත්සිඳු ඒ කතා කරපු වචන ටිකත් පන්හිඳට නම් මහ මෙරක්.

" මේ කුණාටු කාලෙනේ සුදු චූටි.. ඒකයි ඔය... "

ඒත් එක්කම වගේ සත්සිඳු ගත්ත ලොකු හුස්ම කිව්වෙම එයත් ඒ කුණාටුවකට අහු වෙලා අහවරයි කියන කතාව.

" මට හරි හීතලයි.... "

සත්සිඳු කිව්වේ ඈත මුහුද දිහා බලාගත්තු ඇස් එක මොහොතකටවත් අහකට නොගෙන වෙව්ලන කටහඬකින්. එයාගෙ හිතට ඇත්තෙන්ම හීතලයි. ඒ හිතට ඕනි වෙලා තිබුණේ ලොකු උණුහුමක්.

" එන්න ළඟට... "

පන්හිඳ රහසින් වගේ මිමිණුවේ හරි ආදරෙන්. ඒත් එක්කම සත්සිඳු එයාගෙ ඔළුව පන්හිඳගේ වම් උරහිස උඩින් තියාගත්තම පන්හිඳ එයාගෙ වම් අතින් සත්සිඳුව තවත් තදට තුරුළු කරගත්තේ ජීවිත කාලෙම පරිස්සම් කරන්න වගේ.

මීළඟ කොටසට ...

More Chapters